Saturday, May 28, 2016

කමටහන්

රහත් නැ තවම
සිටියත් සිවූරු දරා
කෙලෙස් ඇත තවම
ගිහි ගෙයින් එනකොට ගෙනා

හිතුමතේ යන්නට නොදි
තියාගත්තත් එක්තැන් කර
හිතේ කොනකම ඉදලා ආලය

කමටහන් නැ තවත් අලුතින්
හීල් දානය බෙදු ඔබත් ඔබේ පුතුත්
කමටහන් වෙවා නිවන් මග....








Wednesday, March 18, 2015

ඇත්තටම උඹ යනවද බන්........

ඇත්තටම උඹ යනවද බන් 
කොහෙ යන්නද බන් උඹ
බැරි වැඩ නොකර නිකන් ඉදපන් 
උඹට යන්න බෑ කවදාවත් මගේ හිතෙන්....

උඹ නැතුව පිට්ටනිය පාළුවෙන නිසා 
අහස ඇඩුව දුක දරාගන්න බැරුව 
ඒ වුනාට මං අඩන්නේ නෑ බන් 
මගේ හිතට පාළු නැති නිසා 

උඹ ගහපු ගැහිලි මේ හිතේ තියනවා හැමදාම පිරෙන්න.......







Tuesday, September 16, 2014

ඉඩෝරයේ වැහිලිහිනියෝ

 Ø මං කැමති කලු පාට අහසකට... මොකද දන්නවද? වැස්සොත් තමයි හේනක් කොටන්න පුළුවන් වෙන්නේ.

 Ø බලාගෙන, හේන් කොටලා... කරල පැහුනහම ඒව රකින්නත් වෙනවා හරිද..

 Ø ඌබ බය නැතුව ඉදපන්... මට පුළුවන් රකින්න.

 Ø හිතන තරම් ඒක ලේසි නැ හරිද? රැට නිදිමරාගෙන, මදුරුවෝ තලාගෙන එහෙම තමයි කරන්න වෙන්නේ.

 Ø අනේ මේ, ඔය ඕනි තරම් ගැනු තනියම හේන් කොටලා... ඒව යස අගේට රකින්නේ.. අනික මේ, ගෙන්දගම් පොලවේ උපන්දා ඉදන් හැප්පෙන අපේ මේ ලේ වලට ඕව අමුතු වැඩ නෙමෙයිනේ...

 Ø ඒක ඇත්ත..... ඒත් ඉතින්, මේ ඉඩොරේ කොහෙන්ද වැස්සක්

 Ø වෙනද අපි මෙහෙම ඉන්නකොට, පියබගෙන යනවා වැහිලිහිනියෝ රංචුව වගේ රංචුවක් හදන්න හීන මැව්වා මතකද?

 Ø වැහිලිහිනියෝ එනකම් අපි වැවේ වලක් හරමුද?

 Ø එකනම් හොදයි තමයි... ඉතින් කොහෙද ඔය දුවන්නේ...

 Ø උදැල්ලක් අරන් එන්න යන්නේ.

 Ø මැම්බර් මහත්යන්ගේ උදලු අපිට ඕනි නැ... මේ තියන පරණ ඒක හොදයි දෙයියෝ

 Ø ම්ම්ම්ම් එකත් හොදයි තමයි.... නැත්නම් ඒ වතුර ටිකටත් අරගෙන යයි, අර උන්දලාගේ සුවීමින් පුල් පුරවන්න.


 Ø ගනින් මෙන්න මෙහෙට ඕක...  

Thursday, May 15, 2014

ලා(හිරු) ස්ටාර් තේරීම

සර්පිනා තාලම්පට බෙර හඩ ඇහෙන්නට නැ වෙනදා වගේ
මුස්පේන්තු මුඩු ගදක් අවා ළගින් යනකොටම
නිකමට වගේ ඔලුව එබුවා දේවාලයට
මකුළුවෝ දැල් බදිනවා ඔන්චිලි පදිනවා ගජරාමෙට
සරස්වතිත් නැ ගණ දෙවිදුත් නැ පේන්නට.....
ඉස්කෝලේ පොඩි එකෙක්ගෙන් ඇහුවහම කිවුවේ
කට්ටිය ගිහිල්ලලු සිගීන් ස්ටාර් දෙවැනි වටේට
පළවෙනි වටෙන් දිනලා සනුක වික්‍රමසිංහ
ලාහිරු අතින් සම්මාන ගත්තලු......



සනුක වික්‍රමසිංහ 
ලහිරු පෙරේරා






Saturday, April 12, 2014

අල්ලපු ගෙදරට පෙන්න අවුරුදු කෑම (2014)

පිල්ලේ නෝනට නොතේරෙන කුණුහරප වලින් බැන බැන
ජිනීවා ජන්දේ වෙනුවෙන් මෙහෙ චන්ද එකතු කරපු
අපේ අහිංසක දේශපාලුවන්ට තවත් අවුරුදු 5 ක් 6 ක්
හොදට රට අනුභව කරලා බඩගෙඩිය තවත් ලොකු කරගන්න
කතිරවරණයේදී කතිරේ ගහපු අපේ දේශප්‍රේමී ජනතාව
මගුල් මුද්ද උගස්තියල, කාටහරි ණයවෙලා
අල්ලපු ගෙදරට පෙන්න ලස්සනට අවුරුදු කන විදිය
බලන්න ඒවිද අපේ කතිරෙන් හොදට අවුරුදු කන දේශපාලුව.......... 








Sunday, February 23, 2014

උයන්පල්ලා (පිය සෙනෙහස)

සුවඳ මල් වල පාට තැවරිලා 
වණ බබරුන් රොණට ඇදෙනවා
උයන්පල්ලෝ නුබ නික-ඉදපන් 
අයිතිය නැ නුබට ඒ සුවදැති පාට මල් වල........ 

අහසේ පොලවේ ගෝරනාඩු දැනෙන්න නැ දුන්නේ 
නුවර වැවේ, කලා වැවේ දිය දෝතක් නුබ ලග තනි රැක්කේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........ 

සුළං කොඩ චණ්ඩමාරුතේ ඇවිත් පෙති විසිකර යන්න ගිය වෙලේ 
හිතේ තියන දරු සෙනේහස මහ පවුරක් වෙලා තමයි නුබ රැක ගත්තේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........


         









Tuesday, February 11, 2014

වෙනුෂා කියා දුන් පාඩම

"වෙනූෂා ඉමන්දි" මේ නම වගේම මේ නම ඔයාලා හොදට දන්න කියන නමක් වෙන්න හේතුවත් ඔයාලා දන්නවා. ඒ දැන් අපේ රටේ තියෙන තාක්‍ෂණයේ දියුණුව වගේම ජනමාධ්‍ය වල තියන කර්යක්‍ෂමතාවය නිසයි එහෙත් සමහර ජනමාධ්‍ය විසින් මෙම පුවත තමන්ගේ ජනප්‍රිය වීමේ අරමුණින් අඩු වැඩි වශයෙන් වෙනස්කරා.

බ්ලොග් කියවන රටේ ලෝකේ වෙන දේවල් ගැන හොදට ඇහැ කණ ඇරගෙන ඉන්න ඔයාලට ඒ කතාවේ තියෙන අඩු වැඩි මොනවද කියන එක මම අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නැ.

මට පිටු 3කින් සමන්විත වෙනුෂා අන්තිමට ලියපු ලියුම කියවන්න හම්බවුණා. ඒ ලියුම වගේම අර ජනමාධ්‍ය කියපු ඒවත් එක්ක බලනකොට මට හිතුනේ........ 


වර්තමාන පාසැල් සිසු සිසුවියන්ට තියන මුලික ප්‍රශ්නයක් තමයි තමන්ගේ සතුට බෙදාගන්න සතුටේදී අප්පුඩි ගහල පිළිගන්න කට්ටිය හිටියට තමන්ගේ හිතට දුකක් කරදරයක් වුනහම ඒ දේ කියන්න අහන්න   තමන් ලග කව්රුත් නැතිවීම. වැඩිහිටියන්ටද මේ ගැටලුව ඇත නමුත් ළමා මනසට මෙවැනි අවස්ථා වලදී හුදකලාවීම දරාගැනීමට වැඩිහිටියන්ට මෙන් ශක්තියක් නොමැත. රටේ පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදනවා වගේම ඒවා අනාගතේ හා වර්තමානයේ පරිභෝෂණය කරන රටේ අනාගත පරපුරේ මානසිකත්වය ගැනත් මිට වැඩියේ අවදානය යොදවන්න ඕනි. පාසැල් තුල මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් පටන් ගන්නට හොදම කාලය දැන් තමයි. එවැනි උපදේශන සේවාවක් තිබුනනම් වෙනූෂාගේ ඉරණම  මෙහෙම නොවෙන්න තිබුණා කියන එකයි මගේ හැගීම.


වෙනූෂාගේ සිදුවීම දුකකින් හෝ පාඩමකට අරගෙන අයෙමත් මෙවන් සිදුවීම් සිදුනොවෙන්න කටයුතු කලයුතුය.   

                                              වෙනූෂාගේ අවසන් ලිපිය 




Wednesday, February 5, 2014

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු

නිදහස වෙනුවෙන් දිවි පරදුවට තියා සතුරා සමග සටන් කලේ නුබයි
නිදහස වෙනුවෙන් කුසගින්න ඉවසුවේ නුබයි 
නිදහස වෙනුවෙන් දිවි පිදුව පුතා, සැමියා, සහෝදරයා, පියා නුබෙයි 
එහෙව් නුබලට අයිති මේ නිදහස් දවසේ 
කට්ට අව්වේ වෙලෙන්නේ නුබයි........ 

හයි-ෆයි වාහන වල A/C වල ඇවිත් 
A/C කරපු කුඩාරම් ඇතුලට වෙලා 
කුල් එකේ චුයින්ගම් හප හපා
නිදහස ඉස්සරහට දාගෙන 
තම තමන්ගේ පම්පෝරි කියව කියව 
ජන්දය හිගාකන වුන්ට උපහාර දක්වන්නේ නුබලයි...... 

ලෝක පුදුම අරුමය වන්නේ 
තිස් වසරක් පුරාවට අපේ එවුන්ගේ ජිවිත උදුරාගන්නට අණ දුන්න එවුන්ටත් උපහාර දක්වන්නේ නුබලයි..... 

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු දැක තරහක් අවේ සිතට 
නොදැනීම නුබ ගැන දුකින් කදුළු බිදක් නෙතින් වැටෙන ගමන්.......  


Tuesday, January 28, 2014

අඩ නිරුවත ( එදා සහ අද )

එදා 
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සදහා වුවමනාවන් අලෙවි කරන ලදී 

අද
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මිනිසුන්ට අමතක කරන ලදී 




Tuesday, January 21, 2014

මාගම් සෝලිය

මාගම් සෝලිය
පොත්ගොඩ දිහා බලපුවම එක පාරටම ඇස් නතරවෙන ලස්සන මුල් පිටුවක් තියන පොතක් මේක. පොතේ නම “මාගම් සෝලිය” ටිකක් හුරුපුරුදු ගතියක් මේ නමේ තිබුනත් හරියට තේරුමක් එක පාරටම මතක් වෙන්නේ නැ. පොත ලියලා තියෙන්නේ අපි කව්රුත් දන්න කියන කෙනෙක් ඒ මොහාන් රාජ් මඩවල. මේ පොතේ අන්තිම පිටු දෙක, තුනේ තියෙන්නේ විචාරක ඇසින් මේ පොත ගැන තියපු සටහන් ඒ හැම සටහනකම වගේ තියෙන්නේ මේක අමුතු ආකාරයක කියවීමක් කියලා. එක නිසාම මම මේ පොත කියවන්න ගත්තා.

පොතේ නම වන මාගම් සෝලිය කියන වචනයේ තේරුම ගත්විට මාගම යනු ගැහැණිය වන අතර සෝලිය යනු චෝදනාව. ඒ අනුව ගැහැණියක් මුල් කරගෙන හාමුදුරුවෝ නමකට කරනු ලබන චෝදනාව මාගම් සෝලිය නම් වේ . 

2011දී සැත්තැම්බර්, නොවැම්බර් මාස වල මේ පොතේ කතෘ මොහාන් ඌව වෙල්ලස්ස, අම්පාර පැත්තේ පොඩි රස්තියාදුවක් ගැහුවලු ඒ ගමනේදී තමයි මේ පොතේ ප්‍රධහන චරිතය ලෙස මොහාන් හදුන්වාදෙන ඇබිත්ත උන්වහන්සේ චරිතය ගැන ඔහුට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ ඇබිත්ත උන්වසන්සේ කියන්නේ අපේ රටේ ඉස්සර හිටපු ගණින්නාන්සේ කෙනෙක් ඒ කියන්නේ මේ චරිතය හාමුදුරුවෝ කෙනෙක් කියලත් හදුන්වන්න පුළුවන් ඒ වගේම හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි ගිහි චරිතයක් කියලත් හදුන්වන්න පුළුවන්. මොකද මේ කියන ගණින්නාන්සේලට ගිහි ජිවිතයක් වගේම පැවිදි ජිවිතයකුත් තිබිලා තියනවා. මේ වගේ චරිත අපිට හමුවෙන්නේ නුවර යුගයේ. මොවුන්ට අබුදරුවෝ ඉන්නවා ඒ වගේම මේ අය තමයි ගමේ මිනිස්සුන්ව බුදුදහමට යොමු කරන්නේ, මළගෙදරක පාංශුකූලය දෙන්නේ මේ වගේ දේවල් කරන චරිතයක් මේක. 

කතෘ මේ ඇබිත්ත උන්වහන්සේ මේ පොතේ ප්‍රධාහන චරිතය ලෙස හැදින්වුවත් මට හිතෙන මේකේ තියෙන්නේ ප්‍රධාහන චරිතයක් නෙමෙයි. පුන්චි රාළ හා ඔහුගේ බිරිද ගෝමරි මුලික කරගෙන බිහිවන විස්තීරණ පවුල මුලික කරගත්තු කතාවක් මේක මොකද මෙහි එන සියලුම චරිත එනම් පුංචි රාළගේ කලින් කසාදේ දරුවා සුදු බණ්ඩා ඒ වගේම ගොමරිට දාව උපදින දරුවන් (සේදරා, රනා, පුංචා, වල්ලී, ටිකිරි මැණිකා, එතනා ආදී) මුලික කරගෙන ඔවුන්ට හමුවන චරිත වටා මේ කතාව ගෙතී තියනවා.

Mohan Raj Madawala's Magam Soliya

කතාවට අනුව මේ කියන පුන්චි රාළ හා ඔහුගේ බිරිද ගෝමරි ජීවත්වෙන්නේ වර්ෂ 1809 -1819  දි ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ගමක. එහෙත් මේ ගමේ සිද්දවෙන දේවල් හරිම  මත-භේදාත්මකයි එම නිසාම සමහරු මේ පොත සල්ලි දීලා අරගෙන ටිකක් කියවල අයින්කරලා දාල තමන්ගෙන් නිකන් අපරාදේ රුපියල් 500ක් වියදම් වීම ගැන හුල්ලනවා. සමහරු මේ පොත හරිම අසාවෙන් මුල ඉදලා අගට කියවනවා අලුත් කියවීමක් කියලා. මේ වගේම පරස්පර විරෝධී අදහස් දෙකක් එන්න මේ පොතේ ගොඩක් හේතු සපයනවා.

මේ පොත ගොඩක් අය ප්‍රතික්‍ෂේප කරන්න ප්‍රධාහන හේතුව තමයි මේකේ කතාකරන ලිංගිකත්වය. මේ පොත කියවනකොට මටත් වෙලාවකට හිතුනා මම මේ නිල් පත්තරයක් ගෙදර එළිපිටම කියවනවද කියලා. මොකද මේකේ තියන ශිෂ්ටසම්පන්න සමාජය විසින්  ප්‍රතික්‍ෂේප කරන්නලද ලිංගික සම්බන්දතාවයන් එනම් තමන්ගේම ලේ වලින් දාව උපදින දියණියත් එක්ක තම පියා පවුල් කෑම. මේ පොතේ කතාවට අනුව මේ පියාගේ සහ දියණියගේ අසම්මත එක්වීම අනුමත කිරීමක් දැක්වෙනවා. අපි ඉතිහාසයේ අසා ඇති පරිදි සිංහබාහු - සිංහසිවලි හා විජය කුවේණිගේ දරුවන් වූ ජීවහත්ත - දිසාලා වගේ අසම්මත ආදර කතාවක් වගේ කියා සිතන්නට මටනම් නොහැකියි මේ පොතේ අසම්මත ආදරය. 

මොහාන් රාජ් මඩවලට අනුව මේ ගමේ සිදුවන්නේ හරි අරුම පුදුම දේවල් හරියට සුරංගනා කතා වගේ තවත් වෙලාවකට මනංකල්පිත ක්‍රියාදාම හොලිවෝඩ්, බොලිවෝඩ් චිත්‍රපටියක් වගේ කියලා හිතෙනවා. මොනවා වුවත් මෝහන්ගේ මේ සිතේ පහලවූණු මේ ෆැන්ටසි ලෝකේ තියන ෆැන්ටසි ගම, ලංකා ඉතිහාසයේ වැදගත්ම කාල පරාසයක වැදගත් ප්‍රදේශයක ජන ජිවිත හා හරි අපුරුවට මුසුකරනවා.     

මොහාන් රාජ් මඩවල 
මොහාන් රාජ් මේ පොත රසවිදින අයට කියනවා,
මෙය ඉතිහාස කතාවක්ද, ඇත්ත කතාවක්ද,
එසේත් නැතිනම් 
මේ ලෝකයේ කවමදාවත් 
සිද්ධ නොවෙන කතාවක්ද කියලා 
රසවිදන්නාට දැනෙන ඕනිම විදියකට රස විදින්න කියලා 
මට හිතෙන විදියට මොහාන්ටත් බැරිවෙලා තියෙනවා තමන්ගේ පොත පොත්රක්කයේ කොතනද තියන්න ඕනි කියලා තේරුම් ගන්න එහෙවු එකේ සමහරු මේ පොත තමන්ගේ පොත්රක්ක වලින් අල්ලලා එලියට විසිකරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැ. 

මෙහි අඩංගු ලිංගිකත්වයට හා ඒ ලිංගිකත්වය විස්තර කරන විදියට මම පුද්ගලිකව කැමති නැති වුවත් වෙන වෙනම තල දෙකක දුවන මේ ගම හා අපේ ලංකාවේ ඉතිහාසය සම්බන්ද කිරීමේ ක්‍රියාවලියට මම අගය කරමි හා මම එයට අසා කරමි. 

පාසලක ගුරුවරියක් වන මගේ මිතුරියක්‌ මාර්ගයෙන් මට දැනගන්න ලැබුන පරිදි මේ පොත පාසල්වල පුස්තකාල සදහා බෙදාහැර ඇත. මගේ මතයට අනුව මේ පොත පාසල්වල පුස්තකාල සදහා සුදුසුද යන්න නැවත සලකා බලන්නේනම් බොහොම වටිනබව අවසානයේ කියන්නට කැමැත්තෙමි.

Thursday, January 9, 2014

කොලපතේ ඇදගෙන යෑම

දවසක් මම රාජගිරිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, අවුරුදු දහයක (10) විතර කොලුපැටියෙක් එයාගේ අම්මගෙන් අහනවා 
"අම්මේ අම්මේ මේ මොකද්ද කියලා"  
මටත් ඉතින් නිකන් ඉන්න බැරිකමට පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, මේ කොලුපැටියා මාර කුතුහලයකින් ප්‍රශ්න කරන දේ දිහා.

ඒ දේ දැකපුවාහම මටත් නොදනිම මගේ හිත මාව අවුරුදු කිහිපයක් ආපස්සට අරන් ගියා.

ඉස්සර පුවක් ගහකින් පුවක් අත්තක් වැටුනහම එක සුද්දකරලා. අහලපහල ගෙවල්වල කොල්ලෝ කුරුට්ටෝ එක්ක තරගෙට කොලපත් අදිනවා අපි උදේ ඉදන් රැ වෙනකම්. 

"මාත් ආසයි අම්මේ කොලපතේ ඇදගෙන යන්න" 
කියලා අර කොලුපැටිය කියනවා ඇහෙනකොටයි මම අයිත් වර්තමානයට අවේ 
එතකොටම කොලුපැටියගේ අම්මා කියනවා 
"කොහේ තියන කොලපත්ද මෙන්න මෙහෙ එනවා පන්තියට යන්න පරක්කුවෙනවා කියලා"

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ කොලපත් කතාව, මොනවද මං මේ ලියල තියෙන්නේ කියලා. ඇත්තටම ඒ ළමයා බලාගෙන හිටියේ පාර මැද (වටරවුමක්) හදලා තියන මුර්තියක්‌ දිහා. එකේ තිබුනේ ළමයෙක් තවත් ළමයෙක් කොලපතක දාගෙන ඇදගෙන යන එකක්. 


කොලපතේ ඇදගෙන යෑම

අන්තිමට මට හිතෙන්නේ, 
අද කලේ ළමයින්ට සෙල්ලම් කරන්න තියා දකින්නවත් කොලපතක් නැ, ඒ වගේම කොලපත් තිබුනත් සෙල්ලම් කරන්න ළමයට වෙලාවක් නැ.
එහෙම එකේ මෙහෙම සෙල්ලමක් තියනවා කියලා හරි දැනගන්න මුර්තියක්‌ හදලා තියන එක හොදයි. අනිත් ඒවටත් දැන් දැන්ම මුර්ති හදන්න පටන් ගත්තොත් හොදයි වගේ.



Saturday, January 4, 2014

කන්නංගර මහත්තයා පැන්ෂන් යනවලු

ලොකු කොල්ලෝ මේ අහපන් 
උබ මේ පාර තියන සිදාදියේ ඉස්කෝලෙට යන විභාගය පාස්වෙලා 
අපේ සනුහරේ ගොඩදාපන් 
මොකද ,
පොඩි කොල්ලට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නැ 
කන්නංගර මහත්තයා තව අවරුදු දෙකකින් පැන්ෂන් යවනවා කියලා 
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ලොක්කා කිව්වලු 


Dr. C.W.W. කන්නංගර

Thursday, January 2, 2014

2013 ඔයා ගොඩක් වෙනස් වෙලා 2014

මං දැනගෙන හිටියා ඔයා අයිත් මාව හොයාගෙන ඒවි කියලා 
හිතුවා වගේම ඔයා මං ලගට අවේ ගොඩක් වෙනස් වෙලා 
ඔයා වෙනස්වෙන්න කලින් මං ඔයා එක්ක කරපු කියපු දේවල් 
මට අද වගේ මතකයි



සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!!!!

ඔයා වෙනස්වෙලා අලුත් විදියකට මං ලගට ආවත් 
තාමත් මං අර ඉස්සර හිටිය පිස්සු පිස්සම තමයි 
තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ
ඔයා ටික ටික වෙනස් වුණේ 
මාත් ගොඩක් උත්සහකලා 
ඔයා එක්කම වෙනස් වෙලා අලුත් කෙනෙක් වෙන්න 
ඒත් මට තාම එහෙම වෙනස්වෙන්න බැරිවුණා 

දැන් ඉතින් ඒවා ගැන දුක්වෙලා වැඩක් නැ 
මගේ අතින් වුණු වැරදි අඩුපාඩු හදාගෙන 
වෙනස්වුණු ඔයා එක්ක අලුත් විදියකට හිනාවෙලා ජිවත් වෙනවා ඇරෙන්න 

වෙනස්වෙන්න කලින් හිටිය ඔයාට මං කතා කලේ 2013 කියලා
දැන් ඉතින් ඔයා වෙනස්වෙලා නිසා මං ඔයාට 2014 කියලා කතා කරන්නම් 
තරහ නැනේ ඔයා 

එහෙමනම් අපි අයිත් වෙනස්නොවී 
මාස 12,
සති 52,
දවස් 365,
පැය 8760,
විනාඩි 525600,
තප්පර 31536000 ක්................................

Friday, December 20, 2013

ලංකා පොකුණට පෙර

සුමින්ද K. ගුණරත්නගේ අලුත්ම කවි පොත ලංකා පොකුණ කියවන්නට  පෙර, 


                                      මම පැනගතිමි කවි කොටුව
                                කියවමින් නුබේ චක්කරනං කොටුව
                                 ගිමන්හලමින් සිටිනවිට ඇහැළි ලග
                                      දුටුවෙමි නා රජ සහ වේ රජ
                                     යන අයුරු ලංකා පොකුණට

Saturday, December 14, 2013

ජීවිතය ජිවත් කරවීම සදහා දුවනවා.....

ජීවිතය ජීවත්වෙනවා. නැ අපි අපේ ජිවිත ජිවත් කරවනවා. ඔයා, මම, මේ මුළු ලෝකෙම තමන්ගේ ජිවිතේ ජිවත් කරවන්න මහන්සි වෙනවා. අපි අපේ අම්මගේ කුසින් එළියට ආපු මුල් දවස්වල, ඒ කියන්නේ අපිට හය හතර නොතේරෙන කලේ අපිව ජිවත් කරවන්න මහන්සි වුනේ අපේ අම්මයි තාත්තයි. ඊටපස්සේ ටික ටික අපි ලොකු වෙලා හය හතර තේරෙන කාලෙට ආපුවම අපිත් මහන්සි වුණා අපේ ජිවිත ජිවත් කරවන්න. එහෙම වුණා කියලා අපේ අම්මා තාත්තා අපිව ජිවත් කරවන එක අතහැරියේනැ. එයාල එයාලගේ ජිවිතේ ජිවත් කරන එක අමතක කරලා අපේ ජිවිත ලස්සනට ජිවත් කරවන්න මහන්සිවුණා. එහෙම මහන්සිවුණු අපේ අම්මටයි තාත්තටයි ඒ මහන්සියට ණය ගෙවන්න මේ මුළු ජීවිතය පුරාවටම බැරි වේවි. ඒකයි මතු උපදින හැම ආත්මයකම මගේ අම්මා තාත්තා මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. 

Run for your life
ඔහොම යනකොට එක දවසක් එනවා අපේ ජිවිත අපිම තනියම ජිවත් කරවන්න පටන් ගන්න දවසක්. ඒ දවසේ ඉදලා අපි මහන්සි වෙනවා ජිවිතේ ජිවත් කරවන්න. ඒත් ඒ එක්කම අපිට අමතක වෙනවා, අපි මේ මෙච්චර මහන්සිවෙලා ජිවත් කරවන ජිවිතේ. අපිට පුරුදුවුණු / පුරුදුකරපු ඒකාකාරී රටාවක් තුල අපි දුවනවා. කොච්චර බාධක, කම්කටුලු ආවත්, අපි නොනැවතී මේ අපේ පොදු අරමුණ වෙනුවෙන් දුවනවා. ඒ කියන්නේ ජිවිතේ ජිවත් කරවීමේ අරමුණ. ඒත් අපේ අරමුණ සමාන වුනාට අපි මේ අරමුණ වෙනුවෙන් දුවන විදිය / ස්ටයිල් එක වෙනස්. ඔයාට, මට, මේ ලෝකේ අනිත් අයට මේ හැමෝටම තමන්ට පුරුදුවුණු / පුරුදුකරපු තමන්ගේ ජිවිතේ ජිවත් කරවන්න දුවන දිවිල්ල දුවනවා.   

ඔහොම එක රාමුවක් ඇතුලේ හැමදාම මැරෙනකම්ම දුවන දිවිල්ල දුවන ගමන් ජිවිතේ කියන්නේ මොකක්ද ජීවිතේට අලුත් තේරුමක් දෙන්න, හැඩය වෙනස් කරන්න, කොටින්ම කිව්වොත් ජීවිතය කියවන්න ජිවිතයේ තියෙන දේවල්, නැති දේවල්, එකී, මේකි, නොකී හැමදේ ගැනම කතාකරන්න හිතෙන දේ කියන්න පටන් ගත්තු බ්ලෝග් එකක් මේක. 

ඉතින් මාත් තාම මේ බ්ලෝග් ලෝකේ හය හතර නොතේරෙන පොඩි එකෙක්. ඔයාලගේ විශේෂයෙන් ඔයාගේ සහයෝගය නැතුව මේ ගමන යන්න බැ. ඔයාලගේ උදවුපකාර ඕනි. 

දැන් ඉදන් අපි අපේ ජිවිතේ හොයාගෙන හිතුවක්කාර ගමනක් යමු.......!!!!!!!

Tricks and Tips